..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Sunday, December 10, 2017

10 . ආදර ප්‍රදී


ආදර ප්‍රදී 

10 වන කොටස




මම දන්නෑ ඇයි එයා හැමදේම මට කියන්නෙ කියලා. හැබැයි ඒක හිතල  මතල හෝ ගොතල කරල කියන දෙයක් නෙමෙයි කියල නම් මට තේරෙනවා. එයාට මා ගාවදි ඒ දේවල් කියවෙනව ඇති , සමහර විට එයාට මා ළඟ දි විශ්වාසයක් , සුව පහසුවක් , නිදහසක් දැනෙනව ඇති. ඒත් ඒ හැමදේම අහගෙන දරාන ඉන්න මට,  වෙලාවකට හිතට මහ බරක් දැනෙන්න ගන්නවා. ඒ ඇයි කියල හිතන්න මම බයයි.
මට  මගෙ පළවෙනි ආදරය මතක නැති තරම් වෙලාවක , මනුස්සයෙක් ගෙ ජිවිතේ පළවෙනි ආදරය කියන්නේ කිසිදාක අමතක කල නොහැකි සුන්දර හැඟීම්බර දෙයක් කියල මම විශ්වාස කරන්න ගත්තෙ එයාගෙ කතාව අහලා. 
අවුරුදු ගාණකට පස්සෙ ,කොටින්ම අවුරුදු තිහකට පස්සෙ තමන්ගේ පළවෙනි ආදරය තමන්ට හරියටම මේස ඉස්සරහින් මූණට මූණ ලා වාඩි වෙලා ඉන්නවා. තමන් ගෙ ආදරණිය බිරිඳ දකුණු පැත්තෙන් , තරුණ වියේ දුව වම් පැත්තෙන්, ආදරය මුහුණට මුහුණ ඉදිරියෙන්...... එයාට මොනව හිතෙන්න ඇති ද කියලතමා මට මුලින්ම හිතුනේ.......................

“ එයා දූට කීවා , ඔයාගේ තාත්තට හොඳට උයන්න පුළුවන් කියලා , එයාට ඒ හැමදේම මතකයි “

“ මොන ගෑණිට ද අනේ හොඳට උයන්න පුළුවන් පිරිමි අමතක වෙන්නේ ,? අපිට නෑනේ ඔහොම ආදරේ කරන ඈයෝ “ මම එහෙම කීවේ ඉරිසියාවට ද ?

මේ හැමදේම ලියල තියන්න මට හිතෙන්නෙ ඇයි ? මේ දේවල් ලියන්න කියලා එයා කියන්නේ ඇයි?

කොච්චර වයසට ගියත් ඇයි මිනිස්සු ආදරේ කියන නපුරු දේ ගෑවුනු තැන් පවා මතක තියන් ඉන්නේ ?

“ එයාට ඉස්සර හොඳට ලියන්න පුළුවන්, එයා මට කවිම කොච්චර ලීව ද“

“ ලියන්න පුළුවන් වෙන්නෙ හරි ලියන්න දේවල් එන්නෙ හරි , තමන් වටේ පිටේ ඉන්න අයත් එක්ක.මූණ දෙන දේවලුත් එක්ක. මට එහෙමයි.ඒක එයාටත් එහෙම වෙන්නැති “

“ හොඳයි................මට කියන්න , ඔයාගේ ටොප් ටෙන්නෙකේ දැන් විස්සක් විතර ඇති නේ. එයින් ඔයා වැඩියම ආදරේ ඔය ෆස්ට් ලව්වෙකට ද?“

“ නෑ  .................ප්‍රදී ට “
---------------------------------------------



කතාව නැවතූවේ කොතනින් දැයි හරියටම නිච්චියක් නැති නිසා පළමුව බ්ලොග් පිටුව වෙත ද, කතාව මට පවසා කලක් ගත වී ඇති බැවින් දෙවනුව ඊමේලය වෙත ලොග් වී ඔහු විසින් මා වෙත විටින් විට එවා තිබූ ඊමේල් ලිපි වෙත ද නැවතත් නෙත් හෙලීමට මට සිදු වි ය.

කලින් කොටස මෙතනින් 



ප්‍රදී හමුවීමට මතුගම ගිය ගමන අදටත් ඔහුට අමතක කළ නොහැකි දින කිහිපයක් දායාද කර ඇත. මතුගම ගමනින් ප්‍රදීගෙන් සමුගන්නා විට දී දෙදෙනා එකිනෙකාට විස්තර දන්වමින් ලිපි හුවමාරු කර ගැනීමට සපථ වී තිබූනා සේම ප්‍රදී විසින් සතියකට ලිපි එකක් හෝ දෙකක් නොවරදවාම ලැබෙන්නට වූ අතර විශ්ව විද්‍යාල අධ්‍යාපනය සිදු කරන අතරතුරදිත් ඇයගේ ලිපි වලට පිළිතුරු ලියන්නටත් ඇගේ ලිපි නැවත නැවත කියවන්නටත් ඔහුට කාලය සොයා ගැනීමට නොහැකි වූයේ නැත.

නමුත් හිටි වනම ඇගෙන් ලිපි ලැබීම ත් ලිපි අතර කාල සීමාව ඉතා දිගු වීමටත් පටන් ගැනුනි. ඒ පිළිබඳව විමසා ඔහු විසින් යවන ලද ලිපි කිහිපයකට පසුව පිළිතුරු ලෙස ලැබුනේ ලිපි ලිවීමත් තැපැල් කිරීමත් ඉතාම අසූරු කටයුත්තක් වී ඇති බවයි. සුළු පියාගෙන් නිතර නිතර සිදු වන අකටයුතුකම් එයට හේතුව ලෙස ඇය දක්වා තිබූ නමුත් හරි හැටි සියල්ල  ඇය විසින් නොපවසන බවත් කුමක් හෝ සඟවන බවත් ඔහුට සිතුනි. ඇයට නිවසේ වාසය කිරීම අප්‍රසන්න වී තිබූ බැව් නම් ඔහුට රහසක් වූයේ නැත.ඇගේ මවගෙන් පවා ඇයට කිසිදු සහනයක් ලැබෙන බවක් පෙනෙන්නට නොතිබුනි.

අහිංසක ඇගේ නිදහස නොමැති වීමත් විදීමට සිදු වී ඇති තාඩන පීඩනත් ගවු ගානක් දුරින් සිටි ඔහුගේ සිත ද නිතර නිතර පාරවන්නට විය. ඇය ගෙනවිත් නතර කර ගැනීමට තරම් හැකියාවක් විශ්ව විද්‍යාල සිසුවෙකු වූ ඔහුට නොමැති වූවත් ඔහු ලෙහෙසියෙන් බලාපොරොත්තු අත් හලේ නැත. ඔහු කොතරම් නම් සරල සහ නොගැඹුරු ලෙස සිතුවාද යන්න වැටහෙන්නේ තම මවගෙන් පවා ඇය නතර තම නිවසේ නතර කර ගැනීමට හැකි දැයි විමසා සිටීමෙනි.

“ කොහෙවත් යන , ජාතියක් ජන්මයක් නැති එකියක් ගේ අස්සෙ දාගන්න පිස්සු ද ? අනික කොහෙත්ම ගැලපෙන්නැති එකියක් “

“ ගැලපෙන්න .......... පිස්සුද අම්මට. ඒ මගේ හොඳ යාළුවෙක්. අනික ඒ කෙල්ලට යන්න එන්න තැනක් නැතිව අසරණ වෙලා ඉන්න වෙලාවක උදව්වක් කරන්න බැරි මොක ද ?“

“ ඕනි නෑ. ඔය අනුකම්පාව තමා අන්තිමට භූමිකම්පා වෙන්නේ. මෙහෙ ඉඩ නෑ රස්තියාදු ගහන ගෑණුන්ට “

එයට මවගෙන් ලැබුනු පිළිතුරු ඉතා දෘඩ වූයෙන් තම ම සමඟින්ද කාලයක් යන තෙක් ඔහු හිත නොහොදින් කල් ගෙවුවා පමණක් නොව නිවසින් ඈත්ව වාසය කිරීමට තරම් ඔහුගේ සිත දැඩිව තිබුණි.

නමුත් ඔහු ඇයට නවාතැනක් සෙවීම අත් හලේ නැත. තම සිතට වද දෙන මේ ප්‍රශ්නය ගැන කතා කරන එක් අවස්ථාවක දී ඔහුගේ පිහිටට ආවේ මිතුරෙකි. මිතුරාගේ ද මිතුරෙකු ගේ නිවසේ ප්‍රදීට නවාතැනක් සොයා ගැනීමට අවසානයේ දී හැකි විය. එසේම ප්‍රදී ද එහි නැවතීමටත් නිවසේ කටයුතු සඳහා උදව් කිරීමටත් එකඟ වූවා ය. 

සතියට දෙකක් ලෙසින් ලැබෙමින් තිබූ ප්‍රදීගේ ලිපි මාස දෙකකට එකක් දක්වා අඩු වී තිබූ අතර සම්පූර්ණ කොළ තුන හතරක දිගින් යුතුව තිබු පෙර ලියුම් වලට වඩා බෙහෙවින් කෙටි වූ ඒවා ද විය.

අවසානයේ  ලියුම් ලැබීම සහමුලින්ම නැවතී  මාස ගනනක් ගත වී තිබූ එක් අගෝස්තු මාසයක මැද දිනක දී හදිසියේම පැමිණි ලියුමකි. නමුත් ඒ ඇගේ අත් අකුරු නොවූ මුත් ඇය ගැන දන්වා එවා තිබූ ලියුමකි. ලිපිය කියවූ වහා කලබලයට පත් වූ ඔහු යහළුවෙකු ද සමඟින් තකහනියේ සූදානම් වන්නේ කොහේ හෝ යාමට ය .......................

ඉතිරිය ඊළඟ කොටසින් ............................

Saturday, November 25, 2017

ලේනා සහ කොල්ලා


ලේනා සහ කොල්ලා

-----------------------

ගේ උගේ ය කියා සිතනා ලේනෙක් අප නිවසේ වෙයි. සෑම දිනකම පාහේ නිවසේ නිදහසේ ඇවිද ශැඩෝට ද හසු නොවී යන මේ ලේනා නිවැසියන්ට කිසිදු බියක් නොදක්වයි. ඒ නිසාම අද සිදුවූයේ මහා බියකරු දෙයකි. අද නිවාඩු දිනය නිසා පස්සා පැත්තෙන් දුන් දානකම් නිදා ගන්නා මා ඇහැරුනේ ගෙදර පොඩි කොල්ලාගේ බියකරු කෑගසීම් හඬිනි.යටි ගිරියෙන් කෑගසා ගෙන ගේතුලට දිවූ කොල්ලාට සිදු වූයෙ කුමක් දැයි කීමට සිහි එලවා ගැනීමට ටික වේලාවක් ගත වූ අතර ඔහු වටා , කොන්ද නමාගෙන නැමී ඔහු දෙස බලා සිටි අපගේ කුතුහලය ද අසීමාන්තික විය.

" මොකද පුතේ උනේ ? “

" අම්මේ........අර ලේනා......"

" ඔව්.... ඌ කෑවැයි ?"

" නෑ ..ඈ...... ඌ...... "

" ඔව් "

" ඌ මගෙ කලිසම අස්සෙ ඉදල දිවුවා"

" මොනවා...."? 

ඔහු දෙසට නැමී සිටි අපගේ කොඳු කෙලින් විය.
කොල්ලා තවමත් සිටින්නේ රාත්‍රී ඇදුම වූ ඉරි ඉරි පිජාමා ඇඳුමේ දිග කලිසම් කකුල් දෙක දෑතින්ම උඩට ඔසවා ගනිමින්ය........

ඇත්තටම මොකද වුනේ කියා දැන ගැනීමට තවත් පැය කිහිපයක් ගත වූ අතර සිදු වී ඇත්තේ ලේනාගේ ක්‍රියා නිරික්ෂණයට ඌ අසලටම ගොස් සිටි කොල්ලාගේ පිජාමා ඇදුමට ආසා සිතු ලේනා හිටිවනම පැන කොල්ලා ගේ කලිසම් කකුල දිගේ ගමන් කිරීමට ගැනීමයි. නොසිතූ සිද්ධියෙන් බියපත් වූ කොල්ලා , කෑගසමින් දිව විත් ඇත. ලේනා සොයා ගැනීමට නැත.

අවසානයේ දී සිද්ධිය නිමා වුනේ කොල්ලාට දුන් උපදේසයක් ද සමඟිනි.
“ අනිත් දවසෙ යන්නෙපා ඕකා ළඟට ඌ ඊළඟ සැරේ කලිසම අස්සෙ උගෙ කූඩුවත් හදාවි හරිය ?“

අද දවසම අප පවුලම ප්‍රතීයෙන් තැබීමට මේ සිදුවීම ඉවහල් වුනත් මේ පිස්සු ලේනා සීරුවා නම් තත්ත්වය මීට වඩා වෙනස් වීමට බොහෝ සෙයින් ඉඩ තිබුනි. 

පින්තූරය - ලේනා ගෙට පැමිණි එක් දිනක ලබා ගන්නා ලද්දකි.

Wednesday, November 22, 2017

ආදර ප්‍රදී 9 - ඇය දකිනු වස්

කලින් කොටසට මෙතනින් යන්න ,

ආදර ප්‍රදී -  9 



මේ කතාවේ ලිවිල්ල ආරම්භ වන්නේ දැනට කාලයකට කලින් වුවද එදා පොරොන්දු වූ පරිදි කතාව ලියා හමාර කරන්නට අදටත් නොහැකි වී ඇත්තේ , ලියන්නට ගිය කතාව නිසා අලුත් කතාන්දරයක් උපන් බැවිනි. ලියන්නියත් , කියන්නාත් අතර මේ වන විට ගොඩනැගී ඇති කතාන්දරය වඩා ශක්තිමත් කතාව වූව ද කියන්නා විටින් විට අතීත කතාවේ ලියවිල්ල ගැන ප්‍රශ්න කිරීමට පටන් ගෙන ඇති බැවින් පැරණි ලිපි සොයමින් කතාව තෙම්පරාදු කිරීමට සිදු වී ඇති බැව් පවසමි.

කතානායකක මීෂා ගේ පාසල් පෙම්වතිය වූ “ අනූෂා “ ගේ හැර යාමෙන් පසුව , ඔහු ටිකින් ටික ළං වූ ඔහුට ටිකින් ටික ළං වූ අනිත් මිතුරිය වූයේ “ ප්‍රදී“ ය.

නමුත් ප්‍රදී , දෙවන වර විභාගය සඳහා මීෂා උගත් පාසල මෙන්ම එ් සීතල ප්‍ර දේශය ද හැර දා ඉන් ඉතා දුර බැහැර වූ ගාලු ප්‍ර දේශයට සංක්‍රමනය වූවා ය. නමුත් ඇය මීෂාට දිගින් දිගටම ලිපි ලිවීම නරත නොකලා ය. අද මෙන් ෆේස් බුක් , වට්ස් ඇප් , වයිබර් තියා , ඊමේල් ලිපිනය ද නොමැති වූ එකල තිබූ එකම ලිපිනය වූයේ තැපැල් ලිපිනයයි.

ප්‍රදී ඔහුට දිගින් දිගටම ලීවා ය. ආදර මීෂා ලෙස පටන් ගන්නා ඒ ලියුම් අවසන් වූයේ මීට ආදරණීය ප්‍රදී ලෙසිනි. ලගක් වන තෙක් ඔහුගේ කාර්යාලය මේස ලාච්චුවේ  ඔහු ළඟ සුරැකිව තිබූ ඇගේ ආදරය පිරි ලියුම් සහ කෙසඟ පෙනුමැති ඇගේ පින්තූරය  , ගිනි දෙවියාට පිදුවේ ඔහුගේ සුන්දර පුද්ගලික ලේකම්වරියයි. ඇතැම් දින වල දී තමන්ගේ ප්‍රධානියා කතාවක් බහක් සිනාවක් නොමැතිව බලාගත් වනම බලා හිදින්නේ ,  මේස ලාච්චුව ඇර පිටතට ගන්නා යමක් දෙස බොහෝ වේලාවක් බලා සිටීමෙන් අනතුරුව බැව් සොයා ගත් ලේකම්වරිය ඔහු නොමැති එක් දිනක මේස ලාච්චුව හැර බලා ඔහු ගේ සිනා කතා නතර කරන ඒ අපූරු ලියුම් මිටියත් ඡායාරූපයත් පුලුස්සා දමන්නීය.

මේ අතීත කතා සියල්ල අතරේ අදටත් මිෂා ගේ මතකයේ ඇත්තේ ප්‍රදී දකින්නට ඇය සොයා ගිය ගමනයි. ඇගේ ලිපි වලින් ඇයව දුටුවද ඉවසා ගත නොහැකි දැක ගැනීමේ ආසාවෙන් පෙලුනු ඔහු දිනක් , ඇය සොයා යන ගමන ආරම්භ කළේ ය. එවක ඔහු දෙවන වර විභාගය සඳහා ආවරණය නොවී තිබූ විෂය කොටස් ආවරණය කර ගැනීමට කොළඹ පැමිණි සිටි සමයයි. ඔහුගේ මෙම හොර ගමන ගැන ඔහු හැරුන විට දැන සිටියේ ඔහු නතර වී සිටී ඥාති නිවසේ වැඩිමහලු දියණිය පමණි.

ප්‍රදී ගේ ලිපි වල තිබූ වං හුං ඔස්සේ ඔහු ඇය සොයා යන විට ඇය , ගාලු නිවසින් පිටවී , තම මව සමඟින් වාසය කරමින් උන්නීය. මවගේ දෙවන විවාහයේ පියා , තම කුඩා සහෝදරයා සමඟින් එම නිවසේ ඇය වාසය කලේ වෙනත් යාමට කිසිදු තැනක් නොමැති නිසා බැව් ඇය මීෂා වෙත එවා තිබූ සෑම ලිපියකම පාහේ අකුරු වදන අතර සැඟවී  තිබූ රහසකි.

මතුගම ආසන්න ගමක් වූ එහි යාමට මතුගම නගරයට පැමිණි මීෂාව , ඇගේ ගෙදර එක්කරන් යාමට ඇගේ කුඩා සහෝදරයා පැමිණ සිටියේ මීෂාගේ පැමිණිම ලිපියක් මඟින් ප්‍රදීට කලින් දැනුම් දී තිබූ බැවිනි. වෙසක් පොහෝ දිනට දිනකට පෙර දිනක් වූ එදින , ප්‍රදී හමුවීම පෝයට කලින් හඳ දැක්කා හා සමාන විය. ඉතා උණුසුම් වැළඳ ගැනීමකින් පිළීගැනුන ඔහුට , ඇය හා කතා කිරීමට දහසක් දේ තිබුණි. තරමින් කුඩා වූ ඒ නිවසේ සිටි ඇගේ බාප්පා තරමක දෘඩ ගති ඇති නහරකාර පිරිමියෙකු විය. වරක් හෝ දෙවරක් හිර බත් රසය විඳ ඇති ඔහු යටතේ සිටි ඇගේ මව අහිංසක පෙනුමක දැරූ නමුත් තම දියණිය කෙරෙහි උපන් ආදරය පෙන්වා ගත නොහැකිව තම ස්වාමියාට යටත්ව සිටින බවක් මීෂාට දැනුනි. බාප්පා දුටු විටම ඔහුට සිතුනේ “ප්‍රදී“ ඔහුගෙන් ඉතාම පරිස්සම් විය යුතු බවයි.

අදටත් මතකයේ රැදී  ඇති ඒ සුන්දර දින දෙක ගත කල අපූරුව මීෂාගේ වචන වලින්ම ලියන්නට සිත්වෙයි.

“ එදා අපි ගොඩක් වෙලා කතා කර කර හිටියා. මම පුටුවෙ වාඩි වෙලා ඉද්දි , ප්‍රදී  හිටියෙ මගෙ පාමුල බිම වාඩි වෙලා. මගෙ ඔඩොක්කුවෙ ඔළුව තියන්. මම හිතන්නේ එයාගේ හිතේ තිබ්බ කරදර බර ඔක්කම සැහැල්ලු වෙන්න ඇති එදා.එයාගේ මල්ලි වරින් වර ඇවිත් අපි දිහා එඹිල බලල ගියා “

“ එදා රෑ වෙනකම් අපි කතා කර කර හිටියා. රෑට නිදාගන්න එයාල මට ගෙදර තිබ්බ කාමර දෙකෙන් එකක් වෙන් කරල තිබ්බා.ඒත් ගොඩක් රෑ වෙනකම් අපි දෙන්න ඇඳට වෙලා කතා කර කර හිටියා “

“ යන්න අනේ බොරු නොකියා. රෑ වෙනකම් අවුරුදු විස්සට ලං වෙන්න ඉන්න කොල්ලෙකුයි කෙල්ලෙකුයි නිකම් කතා කර කර ඉදී ද අනේ..... ඔයා මට බොරු කියනවා “ මීෂා ගේ අතීත කතාව අහන් හිටපු මගේ කැත හිත එළියට පැන්නා.

“ ඔවු ....අපි බදා ගත්තා ,වැළඳ ගත්තා , මම ප්‍රදීගේ නලලත් ඉම්ඹා.හැබැයි ඉන් එහා දෙයක් නම් සිද්ධ වුනෙත් නෑ. සිද්ධ වෙන්න තරම් හිතට ඔයා කියන විදිහෙ හැඟීමක් ආවෙත් නෑ. මම කියන්නෙ ඇත්තමයි “

“ හරි හරි ඉතින් ඊට පස්සේ ?“ 

“ඊට පස්සෙ දවසේ , අපි ගියා එයාල නාන ළිඳට , ඒක තිබ්බෙ වත්ත පහල නිස්කලංක තැනක. මට තාමත් හිතා ගන්න බෑ , ඇගේ නොපෙන්විය යුතු තැන් නොපෙනෙන්න කොහොමද එච්චර හොඳට ප්‍රදී ඇඳුම් මාරු කරේ කියලා “

“ එහෙනම් දෙන්න එක්ක ළිඳෙත් එකට නෑවා , හරි හරි කමක් නෑ කතාව කියන්න කෝ “

“ එදා රෑ තමයි වෙසක් පෝය තිබ්බෙ.එදා හවස මායි ප්‍රදීයි , ප්‍රදීගේ මල්ලියි එකතු වෙලා වෙසක් කූඩු හැදුවා. ප්‍රදී විතරක් නෙමෙයි , එයාගේ මල්ලිත් හිටියෙ හරිම සතුටින් , ඊට පස්සෙ රෑ වෙද්දි අපි පන්සල් ගියා “

“ ඉතින් ................“

“ ඉතින් ..........ඊට පස්සෙ දවසෙ උදේ මම ආපහු එන්න ආවා. මට තාමත් මතකයි ඒ කතා කරන ඇස් මම එන්න එද්දි මා දිහා බලන් හිටපු හැටි. ඒ වෙද්දිත් අපි දෙන්නට දෙන්නා “ආදරෙයි “ කියල කියල තිබ්බෙ නෑ “

“ ඒ උනාට ආදරෙයි ? “ එහෙමෙයි....................

“ සමහර විට අනුකම්පාව ............ සමහර විට ආදරේ වෙන්නත් ඇති  ..............“

“ ඉතින් ......................“

“ ඉතින් .............. ඊට පස්සෙත් එයා මට දිගටම ලිවුවා ............ මම දෙවෙනි සැරේට විභාගෙ ලියල ප්‍රතිඵල එනකම්මත් , ඒ ප්‍රතිඵල වලින් විශ්ව විද්‍යාලයට තේරෙනකම්මත් එයා දිගටම මට ලිවුවා. මම විශ්ව විද්‍යාලයට තේරුන එකට එයා ගොඩක් සතුටු වුනා........ .ඒත් හිටි ගමන් ........... “ කතාව මදකට නතර කල මීෂා ..........ගේ ඇස් ඈත නොපෙනන මානෙකට යොමු විය.

“ කියන්න කෝ ........ඉතින් මොකද වුනේ “  ඔහුගේ කලව මත තිබූ මගේ දකුණතින් වැරෙන් ඔහු සොලවමින් අසන්නට වූයේ මම සිත්පිත් නැත්තියක මෙනි.

“ හිටි ගමන් ..........එයාගෙන් ලියුම් ලැබෙන්නෙ නැතිව ගියා..............“ 

“ ඒ කීවේ ......................ප්‍රදී ට මොකද වුනේ ..............? 

ඒ ගැන දැන ගන්න ඊළඟ කොටස කියවන්න.

Monday, November 13, 2017

හංසජිත් ගේ පුනරාගමනය



හංසජිත් ගේ පුනරාගමනය
-----------------------------

නෙතට හුරු පුරුදු නැති කුඩා කොලුවෙකි. නිල් කොට කලිසමත් සුදු කමීසයත් ඇඟ ට නුහුරු බවක් ගෙනෙයි. සුදු කමීසයේ උඩ බොත්තම් දෙකද නොපියවී ඇත්තේ මුරණ්ඩුකම ප්‍රදර්ශණය කරනවාට වඩා නුහුරු බව හුවා දක්වමිනි. පාසලේ ළමයින් කොපමණ ද සිටිය ද , අලුතින් පාසලට පැමිණෙන දරුවෙකු හඳුනා ගැනීමට නොහැකියාවක් මේ කුඩා පාසල තුල නැත. සෑම දරුවෙක්ම නෙතට පුරුදය , කණට හුරුය. 

“ පුතා අලුතින් ද ඉස්කෝලෙ ආවේ , මොකද ඔය කමීසයේ බොත්තම් දෙකම ඇරල දාලා “

කිසිම ගරු සරුවක් නොදැක්වූ කොල්ලා “ මොකක් ?“ යැයි ඇසුවේ කමීසයේ බොත්තම් දැමිය යුතු බැව් ඔහු නොදන්නා බැව් හඟවමිනි.

“ නෑ ටීචර් . . . එයා ඉස්කෝලෙ ආවා ඉස්සර. කාලෙකට පස්සෙ අදයි ආපහු ඇවිත් තියෙන්නේ “

“ ඇත්තෙයි ? , මොකෝ ආපහු ඉස්කෝලෙ එන්න හිතුනේ “

“ නෑ ටීචර්. ගමේ මිනිස්සු පෙත්සම් ගහලා..... බාප්ප මාව ඉස්කෝලෙ එවුවා ,මම ආස නෑ ඉස්කෝලෙ එන්න. මම දවසට දළු කිලෝ විස්සක් කඩනවා. හරක් දක්කනවා. වත්තෙ වැඩ කරනවා.මම කැමැති ඒවට. ඉස්කෝලෙ එනේක හරිම වදයක් “

මේ කොල්ලා සමඟ පාසල් පැමිණීමේ වැදගත්කම කතා කිරීමට මේ වේලාව නොවන බැව් හැඟුනෙන් එම කතාව එතැනින් නිම වූ අතර ඔහුගේ පන්ති බාර ගුරුතුමා විසින් දන්වා ඇති පරිදි ඉන් පසු දින ඔහු පාසලට පැමිණ සිටියේ තම මවත් සමඟිනි. එක දිගට දින ගණන් මාස ගණන් පාසල් නොපැමිණියවුන් නාම ලේඛනයෙන් කපා හරින අතර , ඕනෑ විට එන්නටත් එපා වූ විට හැර දමා යන්නත් පාසල තෝතැන්නක් නොවන බවත් , දරුවා දිනපතා පාසල් එවීමට කටයුතු කිරීම දෙමාපිය වගකීමක් බවත් පෙන්වා දී ම එහි අරමුණ වන්නට ඇත. නමුත් ඔහුගේ පසුබිම් කතාව අනුව ඔහු තවත් දින කීයක් පාසල් ඒ දැයි කීම උගහට වේ.

ඔහුගේ තනිකඩ මව නැවත විවාහ වීමෙන් පසුව නිවසට පැමිණි බාප්පා විසින් මොහු නැවත පාසල් එවීමට කටයුතු කර ඇත. ඔහුගේ යටි අරමුණු කුමක් වුවත් දරුවා පාසල් ඒම සතුටට කරුණකි. නමුත් ඔහුගේ කැමැත්ත අන් තැනක නතර වෙද්දී අසතුටින් පාසල් පැමිණිම වනාහි ඔහුට මෙන්ම තවත් අයට අපහසුතා ගෙනෙනු ඇත. මෙවැනි දරුවන් මේ පාසලේ පහළ ශ්‍රේණි වල ඉදහිට හෝ හමුවීම අරුමයක් නොවන අතර , මොවුන්ගේ දෙමාපියන් තම දරුවාපාසල් නොපැමිණිම නීතිමය වරදක් බැව් තවමත් නොදන්නවා වන්නට ඇත.වදෙන් පොරෙන් පාසල් යැවීමට වඩා , අතේ හුරුවෙන් , හිතේ දහිරියෙන් ජීවත් වීම ට ඉඩ දීම දෙමාපියන්ගේ හිත සැනසිල්ලට පත් කරනවා වන්නට ඇත. ඔවුන් ඒ තරම් සරල වෙද්දි අපි මේ තරම් සංකීර්ණව හිතන්නේ ඇයි දැයි විටෙක මට සිතේ. හංසජිත් තවත් කොපමණ කලක් පාසල් ඒ දැයි හරියටම පැවසීමට නොහැකි වූවත් , දෙමාපියන් විසින් පාසල් එවනු ලදුව මා පාසල් ආවා මිසක , පන්තියෙන් පන්තිය උසස් වූවා මිසක , උසස් පෙළ වැට ගාවදී අනාගතය ගැන යාන්තමින් හෝ සිතන තුරු මටද හරි හමන් අරමුණක් නොතිබි බැව් නම් ඉදුරාම පැවසිය හැකි ය.

Monday, October 30, 2017

පුංචි ආදර කතාවක් -“ ආදර පිපාසය “


පුංචි ආදර කතාවක් -“ ආදර පිපාසය “
-----------------------------------------

වාහනේ ඉස්සරහට යනවා. ඇස් දෙක ඩෑෂ් බෝඩේකෙ එහාට මෙහාට යනවා. “ආහ් අර තියෙන්නෙ . මේ වතුර හොඳෙයි ?“

“ ඔවු ..........“

ගැටේ ලෙහලා , බෝතලේට අන්දපු ඇදුම බුරුල් කරලා පාත් කරල වතුර බෝතලේ මතු කර ගන්නවා. “ මෙච්චර කැටයම් , ගෑණු ළමයි ළඟවත් නෑ “ මම එහෙම කියන්නෑ. හිතින් හිතනව විතරයි.

වාහනේ යන වේගය බලල , කිරල මැනල බෝතලය උඩට කරලා බෝතලේ කටින් එන වතුර කෙළින්ම උගුරට හලා ගන්නවා. වතුර වැටෙන වේගෙටම ගිලිනවා. උගුරට දැනෙන සනීපය විස්තර කරන්න බෑ.මගෙ වතුර බෝතලය ගේන්න අමතක වෙලා. 

මේ හමුව නිසා හට ගත්ත මොකක් දෝ දෙයක් නිසා උගුර කට වේලිලා ගිහින් පිපාසය උත්සන්න වෙලා තිබ්බෙ. මේ වගේ වෙලාවට වතුර බෝතලය උඩට කරලා කෙලින්ම උගුරටම හලන් ඒ හලන වේගයෙන් වතුර ගිලිමින් බොනේක මගෙ හැටියක්...

ඒ තමා මගෙ පිපාසය සංසිදවෙන විදිහ. ඒත් මුළු බෝතලම වුනත් බොන්න හිතෙන පිපාසය යට කරලා , වතුර ටිකක් ඉතිරි කරන්නේ ඔක්කම බොනේක හරි නැති නිසා.

වේගය චුට්ටක් එහා මෙහා වෙද්දි උගුරට හැලෙන්න ගියපු ලොකු වතුර ගුලි දෙකක් , ඉලක්කය වැරදිලා බෙල්ලෙන් පහලට වැටෙනවා. ලිස්සල යන ඒ වතුර ගුලි බින්දු වෙලා පපුව මැද්දෙන් සාරි හැට්ටය මැදින් නොපෙනී යනවා පේනවා. අමුතු සනීපයක් දැනෙනවා... 

මම හොරෙන් වතුර බින්දුවෙ ගමන බලන ගමන් දකුණු අත පැත්තෙ ඉන්න වතුර බෝතල් අයිතිකාරයා දිහාත් බලනවා. “දැකල නෑ වෙලාවට “ . 

මූඩිය කරකවල වහලා, ආපහු හොඳට තද කරලා බුරුල් කරපු ඇදුම උඩට උස්සලා ,අදින ගැටෙන් තද කරලා සමණල් ගැටේ ගහලා, බෝතලේ ඇදුම අන්දනවා. වැඩේ හරියට කෙරිල බලන්න ආපහු සැරයක් බලල බෝතලේ තිබ්බ තැනින් තිබ්බ විදිහටම තියනවා.

ඒක වෙලා දැන් ගොඩක් කල්.ඒත් තකහනියක් ඒ සිද්ධිය මතක් වුනේ ඇයි. පිරිමි කියන්නේ සරල සුන්දර ජාතියක් කියල හිතන් හිටියට , හිතට වැද්ච්චි දේවල් ලේසියෙන් අමතක කරන ජාතියක් නෙමෙයි කියල තේරුන වෙලාවේ.ඒ සිද්ධියෙන් මාස ගාණකට පස්සේ දුරකතන ඇමතුමක් අස්සෙන් මෙන්න මෙහෙම අහනවා.

“ උඹට මාව අතොරක් නැතිව කිස් කරන්න හොඳයි. හැබැයි , මගෙ වතුර බෝතලෙන් කට තියල වතුර බොන්න නරකයි “

ඒ ප්‍රශ්නව ඇහිච්චි ගමන් “නොසිතූ වෙලාවක අඟහරු ලෝකෙ දැක්ක වගේ සිතුවිල්ලක් මට පහල වෙනවා.... හිනාවක් පිපෙනවා........ “ 

ඔන්න බලන්න “පිරිමි හිතක මහිම “ තාමත් ඒ වචන මදක් වෙද්දි මට තනියම හිනා යනවා...

Saturday, October 28, 2017

පුංචි වොට්සන්ගේ ලොකු විද්‍යාගාරය

පුංචි වොට්සන්ගේ ලොකු විද්‍යාගාරය 

වොට්සන් පුංචි කාලේ “විද්‍යා විනෝදය “ පොත කියවල යවපු රොකට්ටෙකේ කතාව ඔයාලට මතක ඇති. ඊට පස්සෙ එයා ගෙ “සයන්ස් ප්‍රොජෙක්ට්ස්“ තාවකාලිකව නැවතුනත් , දිගටම ඒවට තිත වැටුනෙ නෑ.

වොට්සන් ඉස්කෝල යන කාලේ ඇත්තටම වොට්සන් ශිෂ්‍යත්වෙ ෆේල්. ඒ නිසා එයාට එයා කැමතිම වෙලා හිටපු “ ලෝහ වැඩ“ වෙනුවට එයාට තෝර ගන්න වුනේ “ කෘෂිකර්මය“ එයා වැඩි කැමැත්තකින් නූනත් කරන්න දෙයක් නැති නිසා කෘෂිකර්මය කරත් හිත තිබ්බෙ “ලෝහවැඩ“ කාමරේ.

ඔන්න දවසක් ඒ දෛවෝගත දිනය උදා වුනා. පන්තියට ආපු සර් කෙනෙක් කීවේ. කැමැති නම් ළමයි දෙන්නෙකුට “ලෝහවැඩ“ වලට යන්න පුලුවන් කියලා. ඒක ඇහුන විතරයි “වොට්සන්ට“ අත්තටු ලැබුන වගේ , සර් කතාව ඉවර කරන්නත් කලින් , වොට්සන් අශ්ව ගමනින් ගිහින් නැවතුනේ “ලෝහ වැඩ කාමරයේ “ . එයා ඒ කාලේ ලෝහ වැඩ වල ප්‍රැක්ටිකල් වලට හදපු “තෙල් හැන්ද“ තාමත් මහ ගෙදර වැඩ වල දි පාවිච්චි කරනව. හදපු බාල්දිය නම් කවුරු හරි උස්සන් ගිහින්.... මේ වෙද්දි වොට්සන් ලෝහ වැඩ ගැන ප්‍රවීණයෙක්. කොටින්ම “ මිකැනිකල් ඉංජිනේරුවෙක් “ . ඒ විතරක් නෙමෙයි , යකඩ එක්ක වැඩ කරන අය ගැන මගේ හිතේ තිබ්බ මතය වෙනස් කරපු බොහොම “මෘදු හිතක් “ තියන කෙනෙක්.

බොහොම හයියට තියන යකඩ නවල කරල මහ විශාල යන්ත්‍ර උපකරණ හදන්න ගොඩක් අයට මග පෙන්වන්නෙ එයා. ඒ විතරක් නෙමෙයි , යාන්ත්‍රික රොබෝල හදන්නත් එයා දක්ෂයි.හැබැයි ඉතින් එහෙම අයට ලංකාවෙ දි තියන සැලකිල්ල කුඩම්මගෙ ඝනයේ (තුනේ බලය) වුනත් ලංකාව දාලා වෙන රටකට ගිහින් ඩොලර් හොයන්නත් වැඩි කැමැත්තක් නැති කෙනෙක්.




පුංචි කාලේ ඉදලම ගහට කොළට සතා සීපාවට ආදරෙන් හිටපු මේ වොට්සන්ගේ ලස්සනම කාලේ තමා පුංචි කොලු ගැටයෙක් විදහට ගත කරපු කාලේ. ඒ කාලේ කතා ගොඩක් අතරින් අද මම කියන්නෙ තවත් පුංචි කතාවක්.


එයා ට ඒ කාලේ තිබ්බා එයාගෙම කියලා විද්‍යාගාරයක්.ඒක එයාගේ එක්තරා ආකාරයක හීනයක්. මවා ගතපු ලෝකයක්. අර මම කලින් කියපු කතාවක තිබ්බ , වොට්සන් නිතර ආපු ගියපු රැදිල හිටපු කඩෙන් හොයා ගන්න අහක දාන පෙට්ටි , ලේබල් , ගෝනි නූල් අනම් මනම් ද  ගෙදරින් අහක දාන බල්බ් , ලී පතුරු අනම් මනම් ද වෙද සීයගෙ ගෙදරින් විටින් විටේ එකතු කර ගන්න සින්නක්කාරම් , ගෙන්දගම් , වෙඩි ලුණු , පල්මාණික්කම් . අම්මගෙ කුස්සියෙන් විටින් විටේ හොරකම් කරපු සීනි , හිස් කුප්පි , බෝතල් , පොරොප්ප ඇබ,  හැදි, මාමයිට් බෝතල් මේ සියල්ල පිළිවලට වොට්සන්ගේ විද්‍යාගාරයේ ගබඩා වෙලා තිබ්බා.

රසායන ද්‍රව්‍ය , විද්‍යාගාර උපකරණ හැමදේම හිතේ හැටියට හොයාගෙන තිබ්බත් , විද්‍යාඥයෙකුට අත්‍යාවශ්‍ය දෙයක් වෙලා තිබ්බ අර ලොකු බාච්චු ඇදුමක් හොයා ගන්නෙක පුංචි වොට්සන්ට ප්‍රශ්නයක් වෙලයි තිබ්බෙ.මොනා තිබ්බත් ඒ ඇදුම නැතිව හරිම අසම්පූර්ණ ගතියක් තමයි හිතට දැනෙන්නේ.

අන්තිමේ දී ඒ ප්‍රශ්නයට බොහොම සුන්දර විසඳුමක් ලැබුනා. ඒ තමයි. අම්මා පාවිච්චි නොකර අයින් කරල දාලා තිබ්බ “හවුස්කෝට්ටෙක“ . ගාණට යටින් කපල මැහුම් තීරු දෙකක් දෙපැත්තට දාලා ගත්තම , ආය කියල වැඩක් නෑ අයින්ස්ටයින්ගෙ ලෝගුවටත් වැඩිය අගේට ලස්සනට ඒ ලැබ් කෝට්ටෙක තිබ්බා.

ඉතින් , වොට්සන්ගෙ මේ පුංචි විද්‍යාගාරේ තිබ්බෙ ගෙදර තිබ්බ කවුරුවත් හිමිකම් නොකීව පුංචි කාමරේක. ඒකෙ තිබ්බෙ පුංචි සූට්කේස් වගේකුයි, මේසෙකුයි ,පුටුවකුයි, පරණ රවුම් කනප්පුවකුයි විතරමයි.කවුරුවත් මේ කාමරේට ඔළුව පොවන්නැති නිසා අපේ පුංචි විද්‍යාඥයා වෙච්චි වොට්සන් මහත්තයට තමන්ගේ පරීක්ෂණ වැඩ කරගෙන යන්න බාධාවක් තිබ්බ නම් ඒ අම්ම “ චූටි පූතා ... තේක නිමෙනවා .......... මම ආය කියන්නෙ නම් නෑ ඇවිල්ල මේ තේක බීලා යනවා “ යන සුන්දර තර්ජනය විතරයි.

ඉතින් ඔන්න එදත් නිවාඩු දවසක්. වොට්සන් හිටියෙ එයාගේ ලැබ්බෙක් පරීක්ෂන වැඩක නිරත වෙලා. වොටසන්ගෙ අම්ම අනිත් අම්මල වගෙ නෙමෙයි. අම්ම කලබල වෙන්නේ මේ ගෙදර සද්දයක් නැතිව නිහඩ බවේ ගිලිල තියනව නම් විතරයි. ඒ මොකද කියනවා නම් අම්ම දන්නවා “ඒ නිහඩබව නම් හොඳකට නෙමෙයි “ කියලා.
අම්ම හිටියෙ කුස්සියෙ. වොට්සන් හිටියෙ ලැබ්බෙකේ. ළමයින්ගේ තේ වෙලාව ඒ වෙද්දි ඉවර වෙලා යමින් තිබ්බෙ. ළමයින්ගේ තේ කොප්ප අතර හිස් තේ කෝප්ප අතරින් , තාමත් ඉදහිට කම්මැලි කමට දුම් රැල්ලක් දෙකක් මතු වෙච්චි පිරිච්චි තේ කෝප්ප එකක් තිබ්බා. ඒ තමයි නිමෙමින් තිබ්බ වොට්සන්ගෙ තේ පංගුව.
වොට්සන්ට අම්ම කතා කරනවා නෑහුනා ම නෙමෙයි.ඒත් වොට්සන් හිටියෙ බරපතල පරීක්ෂන වැඩක. කොටින්ම කියනව නම් එයාවත් ප්‍රතිපලයක් ගැන කල්පිතයක්වත් ඉදිරිපත් කරන්න හිතාගන්නවත් බැරි වැඩක.

මේ වැඩේ මේ තරම්ම උන්නදුවකින් කරගෙන යන්නේ එදා වොට්සන් හදල තිබ්බ “ස්ප්‍රීති ලාම්පුව “ නිසා. කාලයක් තිස්සෙ බලාපොරොත්තු වෙමින් හිටිය දෙයක්. ගොඩක් වෙලා කල්පනා කරපු වොටසන්. ඉතිරි වෙලා තිබ්බ පොටෑසියම් නයිට්‍රේට් ටිකයි , සීනි තේ හැදි දෙකයි.පල්මානික්කම් කුඩු ටිකයි හිස් බල්බේකින් හදාන තිබ්බ පරීක්ෂණ නගේට දැම්මා. දාන කොටත් ටිකක් හිත ගැස්සුනත් මුකුත්ම නිරීක්ෂනයක් නැති නිසා බටයක් හයි කරල හදල තිබ්බ පොරොප්ප ඇබේ  ගහලා බල්බ් ටෙස්ට් ටියුබ් එක වැහුවා.තවත් බල්බ් ටෙස්ට් ටියුබ්බෙකක් අරන් අර බටයේ හිස් පැත්ත ඒ බල්බ්එකේ තිබ්බ පොරොප්පෙට හයි කරා. 

“දැන් වැඩේ හරි “

වොට්සන් ගෙ මූණට හීනි හිනාවක් ආවා. 

“ චූටි පුතා................................ මේ තේක නිමෙනවා........... මම ආය කියන්නෑ හරි ද? ඉන්න තැනකින් එළියට ඇවිත් මේ තේක බීලා යනවා “

“ මේ .............එන .........වෝ ..........................“

වොට්සන් කඩිමුඩියෙම කෑ ගැහුවා. පත්තු කරපු ස්ප්‍රීතු ලාම්පුවට උඩින් එයා හදාගෙන තිබ්බ තෙපාව තියල ඒක උඩින් අර බල්බෙක තිබ්බා.....

ටිකක් පස්සට ගිහින් හැඩ බලපු වොට්සන් , තේ බොන්න ඉගිල්ලිලා ගියේ අම්ම ඊළඟට තමන්ව හොයාන එන බව හොඳටම දන්න නිසා.


තේක ඇල වෙලා තිබ්බත් , මුකුත්ම නොකියා තේක ගිලදාලා දුවන් එන්න හදද්දි වොට්සන්ට වුනේ හරිම ඇබැද්දියක්.

“ චුටි පුතා .........මේක පොඩ්ඩක් හැදි ගාන්න. මම ළිඳට ගිහින් වතුර එකක් අරන් එන්නම් “

අතේ තිබ්බ පොල් කටු හැන්ද දික්කරමින් අම්ම පවරපු වැඩේ මඟාරින්න විදිහක් වොට්සන්ට තිබ්බෙ නෑ.

“හොඳි හැදි ගානෙකත් මරු වැඩේ “  දැන් මුලු හිතයි ගතයි දෙකම හැදි ගාන හොද්දෙ......වෙන කිසිම දෙයක් වොට්සන්ට මතක නෑ...... ඒත් ..

කාමරේ පැත්තෙන් වගේ ටිකක් ලොකු සද්දයක් ආවා.......


ඒ එක්කම ටිකක් ලොකු දුමකුත් ජනේලෙ අතරින් පිට වෙන්න ගත්තා. 

“ ඒ මොකක් ද ඒ සද්දෙ “ වොට්සනුත් ටිකක් විපරම් කණයි ඇහැයි යොමු කරා.....

“ හත්දෙයියනේ ................මගේ පරීක්ෂනේ ......... “


හැදි ගාපු හොද්ද එතනම තියෙද්දි වොට්සන් විද්‍යාගාරය පැත්තට දිවුවා.

එදා ඉතින් වොට්සන්ට බැනුම් කෝටියයි. ගෙදරින් විද්‍යාගාරය අයින් කරන යෝජනා ගොඩයි..........ඒ ඔක්කමත් අස්සේ ............ ගෙදර කට්ටියට එදා “හොඳිත් නෑ “

------------------------------------------------------------


ප/ලි - විද්‍යාව කියන්නේ මම පුංචි කාලෙ ඉදලම බොහොම ආස විෂයක්. ඒ විෂයෙ තිබ්බ අමුතු විදිහෙ ගතිය ඒකට හේතු වෙන්න ඇති.හැබැයි ටීචර් තමා ගොඩක් පරීක්ෂන කරේ. උසස් පෙළ වෙද්දි ඒක වෙනස් වුනා. විශ්ව විද්‍යාලයට යද්දි මම ආසම වුනේ “රසායන විද්‍යාගාරයට“ ඒකට ඇතුල් වෙද්දිම එන අමුතු විදිහෙ “ගඳ“ මගෙ සිත කුල්මත් කරපු සුවඳක්. රසායන විද්‍යාව හරිම විනෝද ජනකයි.ඒ මොකද කියනවා නම් හැමදාමත් කරපු පරීක්ෂන වල අන්තිමට “දකින්න පුලුවන් නිරීක්ෂණයක්“ ඉතිරි වෙනවා.හැමදාමත් මගෙ රසායන විද්‍යා ප්‍රායෝගික පරීක්ෂණ විතරයි තිතට ගානට කරන්න පුලුවන් වුනේ. සත්ත්ව විද්‍යා පරීක්ෂන මහ වේදනාකාරි වුනා. අපි වෙනුවෙන් පුංචි කුකුළු පැටව් , ගෙම්බො මරන්න කෙනෙක් විද්‍යාගාරයෙ වෙනමම හිටියා. අනිවාර්යෙන් සතෙක් කපලා ,ඉටි ට්‍රේකට තියලා කටු ගහන්න සිද්ධ වුනා.හැමදාමත් ඒ වැඩේ නම් මගෙ අතින් කෙරුනෙ බාගෙට තමා. ෆෝමලින් සුවඳට හිස කකියන එක නතර කරන්නත් බැරි වුනා.

දැන් මම ටීචර් කෙනෙක් වෙලා ලැබ්බේක ඉන්නෙ බොහොම පරිස්සමට. ඒමොකද කියල එකමෙක උදාහරණයක් කියනවා නම්,  “සෝඩියම් කෑල්ලක් වතුර දාපුවම වෙන දේ කියා දීලා , කරල පෙන්නුවට පස්සේ “ කොල්ලො කතා වෙන්නේ “ලොකු සෝඩියම් කෑල්ලක් වතුරට දාලා බලන්න කියලා මම හොඳටම දන්නවා.




Blogroll

Related Posts Plugin for WordPress, Blogger...